Saturday, April 2, 2016

දෙනුවර මින්පසු - සෝමතිලක ජයමහ

දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
ඔබෙ හදවත, ම‘හදෙහි සෙවනැල්ලකි
යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
අපි සක්විති රජ කිරුළු පැළැන්දෙමු...
.

ළිං තොට ගංතොට ආදි තැනේයා
මල්මඳ බිසවුනි ඔබ හමුවූවා
සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
නොදනිමි ඔබ මගෙ හද වෙත ආවා...
.

දැහැනකි ඔබ මගෙ හදවත බන්දන
සෙනෙහස මිතුරෙකි දුක් ගිනි සින්දන
දිනයක් එළඹෙනු ඇත මන නන්දන
අසෙනිය මල් මත සිරිකත කැන්දන...
.

පද - සෝමතිලක ජයමහ
සංගීතය - සෝමතිලක ජයමහ
ගායනය - සෝමතිලක ජයමහ
- පුණ්‍යා කත්‍රිආරච්චි

***සත්සර නිම්නය***

මිනිසා සුවඳයි මල සේ - සුනිල් එදිරිසිංහ

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ...
.

පොළොවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුළින්
සැනහේ ජය පැන් පුරමින්...
.

උණු ලේ විෂ වී සිරුරේ
ඉසුරන් ගැටෙනා අතරේ
ගිනි මල් පිපිලා අහසේ
ඇවිලේ ගිනි දැල් සයුරේ
සා පවසින් ඉකි බිඳිනා
සුසුමෙන් යදියන් හෙළනා...
.

පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

***සත්සර නිම්නය***